ඌවපරණගම

පිහිටීම

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය දුෂ්කර ප්‍රදේශයක් වන අතර කොළඹ සිට 200km පමණ දුරින් පිහිටා ඇත. හග්ගල සිට කොන්ඩගල දක්වා වැලි කදු භූමී ප්‍රදේශයෙන් ව්ශාල ප්‍රමාණයක පැතිර ඇත.

ඓතිහසික පසුබිම

ශ්‍රී ලංකාවේ ඓතිහාසික වශයෙන් ඉතා ඉහල වැදගත් කමකින් යුතු ප්‍රදේශයක් ලෙස ඌව පළාත හදුන්වයි. “හුවරට්ඨ” නමින් පාලි වංශ කතාවේ ඌවේ දේශය හදුන්වන අතර ඌව පළාතට ඌව යන්න ලැබීම සම්බන්ධව ගෙතුණු ජනප්‍රවාද රාශියකි. මෙම පළාත කදුකර ප්‍රදේශයක් වන හෙයින් හග්ගල කපොල්ලෙන් හමන සුළගින් නික්මෙන හූ හඩ සලකා පළමුව “හූව” නම වී අනතුරුව ඌව යනුවෙන් භාවිතා වන්නට ඇතයි සැලකේ. මෙම පළාතේ පැරණිම ගම්මානය ඌව පරණගම යන්න පැරැන්නන්ගේ මතයයි.

ඌව පරණගම ප්‍රදේශයේ ඓතිහාසික තතු විමසා බලනවිට ප්‍රදේශය ස්ථීර රජධනිය කරගත් රජ කෙනෙකු සිටි බවට සාක්ෂි විරල උවද සතුරු ආක්‍රමණ වලින් ආරක්ෂා වීමට ආරක්‍ෂිත ස්ථාන ලෙස සහ සේනා සංවිධාන බල කොටු ලෙස මෙම ප්‍රදේශය යොදාගෙන ඇතිබව ඉතිහාසය සාක්ෂි දරයි. මෙහිදී වළගම්බා රජු විශේෂ වෙයි. උළුගල රජමහා විහාරය, ගනේතැන්න රජමහා විහාරය වළගම්බා රජ වාසස්ථාන ලෙස යොදා ගත් බවට සාක්ෂි හමුවෙයි.

වර්ෂ 1815 දී ශ්‍රී ලංකාවේ කන්ද උඩරට ප්‍රදේශයද බ්‍රිතාන්‍යයන් අත්පත් කර ගැනීමට අත්සන් කල ගිවිසුම් පත්‍රයේ ඌවද ඇතුලත්ව තිබූ බවට සදහන් වෙයි. මෙහිදී මැක්ඩොනල්ඩ් නමැති සෙනවියාට බල කොටුවක් සදා දී සේනා සහිතව ඌවපරණගම ප්‍රදේශයේ නතර කරන ලදී. මෙම කොටුව පෝට් මැක්ඩොනල්ඩ් නමින් හැදින් වූ අතර මෙහි න් 1950 වර්ෂය දක්වාම මේ නමින් තැපල් කාර්යාලයක් පවතිනි. 1948 දේශපාලන නිදහස ලැබීමෙන් පසුව ඌව පරණගම ප්‍රදේශයේ එතෙක් පවතී සමාජ ආර්ථික පසුබිම වෙනස් වන්නට විය. බදුලු දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල මැතිවරණ කොට්ඨාශයේ කොටසක් ගෙන ඌවපරණගම ප්‍රදේශය ආදායම් පාලන නිලධාරී කොට්ඨාශයක් සකස් කරන ලදි. මෙම කොට්ටාශය 1959 ඌවපරණගම මැතිවරණ කොට්ඨාශයක් වශයෙන් නම් කිරීමෙන් අනතුරුව 1960 මාර්තු 19 දින පැවති මහ මැතිවරණයේදී ජාතික විමුක්ති පෙරමුණෙන් තරග කල කුසුමා රාජරතන මහත්මිය පළමු වරට මෙම අසුනට තේරී පත් වුවාය.

දේශගුණය

ඊසාන දිග මෝසමින් හා සංවහන වැසි වලින් පෝෂණය වන ප්‍රදේශයකි.කදු පන්තිය නිසාවෙන් මෙම ප්‍රදේශයට නිරිත දිග වර්ෂාව නොලැබේ.

ආගමික පසුබිම

බෞද්ධ, හින්දු, ඉස්ලාම් ආගම අදහන ජනතාව විසිරුණු ප්‍රදේශයක් හැටියට ඌවපරණගම හැදින්විය හැක. බෞද්ධයන්ගේ කේන්ද්‍රස්ථාන වූ පන්සල 57ක් ඌව පරණගම පිහිටා ඇති අතර මෙයින් උළුගල රජමහා විහාරය හා ගනේතැන්න ශ්‍රී වළගම්බා රජ මහා විහාරය අතීත රජ දවස දක්වාම ඉතිහාසයකට නෑකම් කියයි. හින්දු ආගම අදහන ජනතාව වැඩි වශයෙන් වතුකරය ආශ්‍රිතව ජීවත් වනු දක්නට ලැබේ.රතඹ හා පරණගම යන ප්‍රදේශ වල ස්ලාම් ආගම අදහන ජනතාව වැඩි වශයෙන් ජීවත් වෙති.

ආර්ථිකය

සරුසාර ප්‍රදේශයක ජීවිකාව සොයන ඌව පරණගම ජනතාවගේ ආර්ථිකය රදා පවතින්නේ කෘෂිකර්මාන්තය මතය. වී ගොවිතැන, තේ වගාව, හා අල ඇතුළුව එළවලු වගා වලට මෙහි විශේෂ තැනක හිමි වේ. රාජ්‍ය අංශයේ රැකියා වල නිරත වන සුළු පිරිසක්ද මෙහි ජීවත් වේ.

පාරිසරික වැදගත්කම

  • ස්වභාවික සෞන්දර්යයේ අනූපමය අලංකාරත්වයෙන් යුත් වෘක්ෂ ලතා ද ,පතන බිම් ද පිහිට ඇත.
  • බටහිර හා උතුරු ප්‍රදේශ කදු පන්ති වලින් වට වී තිබීම.
  • හාල් ඔයෙන් හා උමා ඔයෙන් විශාල භූමි ප්‍රදේශයක් පෝෂණය ලැබීම.
  • බෝඹුරු ඇල්ල,රවන් ඇල්ල ,මානාභරණ ඇල්ල වැනි දියඇලි වලින් පාරිසරික අලංකාරය වැඩි කිරීම